මහමෙව්නාවේ පාලි – සිංහල පිරුවානා පොත් වහන්සේ
පෙරවදන
මේ මහා භද්‍රකල්පයෙහි ලොවට පහළ වී වදාළ සතරවෙනි බුදුරජාණන් වහන්සේ වන අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයත් රැකවරණයත් ආශිර්වාදයත් උදෙසා අපි ඉතාමත් ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ යමු. දුර්ලභ මිනිස් ජීවිතය වෙත සදාකාලික ආලෝකයක් උදා කර දිය හැක්කේ පරම දුර්ලභ වූ බුදුසසුනට පමණි. තෙරුවන් සරණ ගිය බෞද්ධයා මෙකරුණ මැනැවින් සිහියේ දරා සිටින්නෙකි. එනිසා ම දෛනික ජීවිතයේ විශේෂ අවස්ථාවන්හී දී ආශිර්වාදය සලසා ගන්නේ උතුම් තුනුරුවන් සරණ තුළින් ම ය. බාහිර පිහිටක් පිළිසරණක් සෙවීමක් සැබෑ බෞද්ධයෙකුට අයත් දෙයක් නොවේ. එනිසා ම ලක්දිව වැඩ සිටි ත්‍රිපිටකධාරී මහා තෙරුන් වහන්සේලා විසින් සැදැහැවත් බෞද්ධයන්ගේ ජීවිතවලට ආරක්ෂාවත් සැනැසීමත් සැපතත් උදෙසා සියවස් ගණනක් මුළුල්ලේ භාවිතයට පැමිණි පිරිත් පොත මේ රට තුළ සම්භාවනාවට පත් වූයේ පිරුවානා පොත් වහන්සේ නමිනි. ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව එම පිරිත් දේශනාවන් සමඟ තමන්ගේ මුළු ජීවිතය ම රඳවාගෙන තිබුණි. අප රට ආක්‍රමණය කළ මිත්‍යාදෘෂ්ටික ඉංග්‍රීසි පාලකයන් වරෙක එංගලන්තයට ලියා යවා තිබුණේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව සති පිරිත් පින්කම් වලින් ඈත් කර ගතහොත් ඔවුන් ව ලේසියෙන් ක්‍රිස්තියානි කරගත හැකි බව යි. මෙයින් පෙනෙන්නේ පිරුවානා පොත් වහන්සේ සිංහල බෞද්ධයාගේ ජීවිතවලට බද්ධ වී ඇති ආකාරය පිළිබඳව ඔවුන් බියපත් ව සිටි බව යි.
තුන්යම් රාත්‍රියක් මුළුල්ලෙහි මහත් ශ්‍රද්ධා භක්තියෙන් යුතුව සජ්ඣායනා කරනු ලබන පිරිත් ධර්මය ශ්‍රවණය කිරීමට සැදැහැවත් ජනතාව මහත් සේ රුචි කරති. එහෙත් මෑත භාගයේ පරිත්‍රාණ ධර්ම දේශනාවලදී විශේෂත්වයක් දී තිබෙන්නේ ශ්‍රවණ මාධූර්යයෙන් යුතු ව තාලයකට ඇද පැද ගායනා කිරීමට මිස එහි අර්ථ මතු කොට ශ්‍රද්ධාව ඇති කරවන ආකාරයට පිරිත් දෙසීම නො වේ. සමහර ගිහි පිරිත් දේශනා කරන ගිහි පින්වතුන් පවා බොහෝ විට එම පිරිත් දෙසනු ලබන්නේ එහි අර්ථ කිසිවක් නො දැන ය. සමහර පිරිත් දේශනා ඇසෙන්නේ පිරිසක් එකතු වී ගෝරනාඩු කරන පරිද්දෙනි. පාළි වචන අර්ථ විපරීත වෙන පරිද්දෙන් වෙන් කරමින් පිරිත් දේශනා කරන අවස්ථාවන් ද අපට අසන්නට ලැබේ. සමහර අවස්ථාවලදී ආටානාටිය වැනි හමාර දෙසුමක් දේශනා කරද්දී අනවශ්‍ය ආකාරයෙන් සැදැහැවතුන් තැතිගැන්වෙන පරිද්දෙන් මහප්‍රාණ අක්ෂර උච්චාරණය කරමින් පිරිත් දේශනා කරන අයුරු අපට අසන්නට ලැබේ. ගී සින්දු කියන ආකාරයෙන් කරනු ලබන පිරිත් දේශනාවල් ද අපට අසන්නට ලැබේ. මෙසේ පරිත්‍රාණ ධර්ම දේශනාවලදී කිසියම් පරිහානීය ලක්ෂණයන් විද්‍යමානව තිබෙන අයුරු අවධානයෙන් අසන කෙනෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි ය. මෙය සැදැහැවතුන්ගේ සිත් තුළ කළකිරීම ජනිත කරවීමට ද හේතුවක් වනු ඇත. මේ නිසා ම පිරිත් දේශනාවකින් ලැබෙන යහපත් ආනිශංස ධර්මයන් ලබාගැනීමේ අවස්ථාව සැදැහැවත් ජනතාවට අහිමි වෙමින් තිබෙන බව නොරහසකි.
මෙම කරුණ හේතු කරගෙන අභිනවයෙන් පිරුවානා පොත් වහන්සේ නමක් ඉදිරිපත් කිරීමට අපට සිත් විය. මෙම පිරිත් පොත් වහන්සේ තුළ පැහැදිලිව ම කරන ලද වෙනස්කම් ඔබට දැක්ක හැකි ය. මෙම පිරුවානා පොත් වහන්සේ ආරම්භ වන්නේ පිරිත් පේ කිරීම නම් වූ පරිච්ඡේදයෙනි. එහිදී තෙරුවන් සරණ හා තෙරුවන් වන්දනාවට අමතර ව අපගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සත් බුදුරජාණන් වහන්සේලා වන්දනා කිරීමත් යොදා තිබේ. එමෙන් ම බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂී වූ ගුණ සමූහය උන්වහන්සේ විසින් ම දේශනා කොට වදාළ ඉතා සුන්දර දෙසුමක් වන ලෝකාවබෝධ සූත්‍රය එයට ඇතුළත් කොට තිබේ. අනතුරුව ජය මංගල ගාථා අෂ්ටකය දක්වා ඇත. මෙහි දී එක් එක් පාළි පරිච්ඡේදයට අදාල තේරුම පිළිවෙළකට කිව හැකි පරිද්දෙන් සරල සිංහලෙන් දක්වා ඇත. එම කොටස හරි ආකාර ලෙස සාමූහිකව සජ්ඣායනා කිරීමෙන් බුද්ධානුස්සති භාවනා පින්කම වචනයෙන් හා සිතින් සිදු කරගෙන මහත් සැපතක් සලසා ගත හැකි ය.
අනතුරුව ඉදිරිපත් කොට තිබෙන්නේ මහ පිරිත යි. ඒ සඳහා මහා මංගල සූත්‍ර දේශනාව, රතන සූත්‍ර දේශනාව හා කරණීයමෙත්ත සූත්‍ර දේශනාව ඇතුළත් කොට තිබේ. මහ පිරිත අවසන් වන්නේ මහා ජයමංගල ගාථාවන් සජ්ඣායනා කිරීමෙනි. මහ පිරිතේ ද පාළිය සජ්ඣායනා කිරීමෙන් අනතුරුව ඒ ඒ පරිච්ඡේදයන්ට හා ගාථාවන්ට පසුව සිංහලෙන් පැවැසිය හැකි පරිදි පරිවර්තනය කළෙමු.
ඊළඟට ඉදිරිපත් කොට තිබෙන්නේ යුග දේශනාවන් ය. පරිත්‍රාණ ධර්ම දේශනාවක දී මුහුණ දෙන ප්‍රධාන ගැටළුව වන්නේ කාලය පිළිබඳ කළමනාකරණය යි. සුළු කලක් ඇතුළත සූත්‍ර දේශනා රාශියක් සජ්ඣායනා කළ යුතු ව තිබේ. විශේෂයෙන් ම සිංහලෙන් ද සජ්ඣායනා කළ යුතු හෙයින් කාලය හැසිරවිය යුත්තේ ඉතා පරිස්සමෙනි. එම නිසා පිරිත් ශ්‍රවණය කරන පින්වතුන්ට ශ්‍රද්ධාව ජනනය වන පරිද්දෙන් අපගේ පිරිත් පොත මෙසේ සංස්කරණය කළෙමු. එනම් යුග දෙසුම ඇරඹෙන්නේ ඛන්ධ පිරිතෙනි. ඉන්පසු මෙත්තානිසංස පිරිතත්, ඉන්පසු මෝර පිරිතත්, ඉන්පසු චන්ද පිරිතත්, ඉන්පසු සුරිය පිරිතත්, අනතුරුව ධජග්ග පිරිතත් දෙසනු ලැබේ. එක සමාන අරුත් ඇති පිරිත් දෙසුම් කිහිපයක් අප විසින් ඉවත් කරන ලද්දේ ධර්ම ගෞරවයකින් යුතුව පිරිත් දේශනා කිරීමට කාලය ලබාගැනීම මිස කිසිසේත් අගෞරවයකින් නම් නොවේ. එනමුදු එම දේශනා උපග්‍රන්ථයෙහි ඇතුළත් කිරීමට අප අමතක නොකළෙමු. දෙවන යුග දේශනාවේ දී මහා කස්සපත්ථේරබොජ්ඣංග පිරිතත් ගිරිමානන්ද පිරිතත් එක් කළෙමු. කාලය පිළිබඳ ප්රශ්නය මතුවන හෙයින් කැමැති කෙනෙකුට එහි සිංහල කොටස පමණක් වුව ද සජ්ඣායනා කළ හැකි ය. එහි කිසි වරදක් නැත. පිරිතෙහි අරුත වැටහීමත් හිතේ ශ්‍රද්ධාව ඇති වීමත් නිසැකයෙන් ම සිදු වේ. පිරිත යනු මන්ත්‍රයක් නො වන බව අප විශේෂයෙන් මතක තබා ගත යුතු ය. මන්ත්‍රයක නම් වචන උච්චාරණයේ දී සිදු වන වෙනස බලපාන බව අප අසා ඇත. නමුත් පිරිත් ධර්මය ඊට හාත්පසින්ම වෙනස් ය. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළේ දෙව් මිනිස් ලෝකයාගේ හිත සුව පිණිස ය. ලෝකානුකම්පාවෙන් යුතු ව ය.
දම්සක් පැවැතුම් සූත්‍රය වනාහී අති සුවිශේෂ වූ සම්බුදු දෙසුමක් වන්නේ එය බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වීම නිසා ය. එමෙන් ම බුදු කෙනෙක් ලොව පහළ වන්නේ කුමක් පිණිස දැයි නිරවුල් ව තේරුම් ගැනීමට මෙම සූත්‍ර දේශනාව මහෝපකාරී වේ. එනම් ලෝක සත්වයා විසින් අවබෝධ නො කරන ලද්දා වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරවීම පිණිස ම ය. මෙම දෙසුමේ විශේෂත්වය නම් එය පොළොවවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹ ලොව දක්වා ලෝකවල සිටින දිව්‍ය සමූහයා ඉතා ශ්‍රද්ධාවෙන් සවන් දී තිබීම යි. එය කියැවෙන්නේ මෙසේය. “පවත්තිතේ ච පන භගවතා ධම්මචක්කේ භුම්මා දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං, අප්පතිවත්තියං සමණේන වා බ්රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති” මෙහි තේරුම මෙසේ ය.
“භාග්‍යවතුන් වහන්සේ විසින් ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව වදාළ කල්හි පොළොවවාසී දෙවියෝ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායේ දී මේ අනුත්තර වූ ධම්මචක්කය පවත්වන ලදී. ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ ලෝකයෙහි වෙන කිසිවෙකුට හෝ එය වෙනස් කළ නො හැක්කේ ම යැයි දහම්ඝෝෂා පැවැත්වුවාහු ය.” මේ ආකාරයට ඉතා පැහැදිලි තේරුමක් තිබිය දී බොහෝ දෙනෙක් සිතාගෙන සිටින්නේ දෙවිවරු සාදු නාද දුන් බව යි. දෙවිවරුන් විසින් කරන ලද්දේ සාදු නාද දීම නො ව යට කී ප්‍රකාශය මහත් සතුටින් යුතු ව හඬගා පැවසීම යි. එහෙත් මේ අර්ථය නො දන්නා බොහෝ දෙනෙක් පිරිත් දෙසුම්වලදී එම කොටස කියවන විට හේවිසි නාද කරවති. රතිඤ්ඤා පත්තු කරවති. එය දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවට නො දැනුවත්කමින් කරනු ලබන අගෞරවයකි. එම නිසා එය තේරුම් ගත යුත්තේ එම දෙසුම පිළිබඳව මහා ධර්ම ඝෝෂාව අකනිටා බඹ ලොව දක්වා දෙවිවරුන්ගේ කටින් කට පැතිර ගිය බව යි.
එමෙන් ම දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව ඉතා සවිස්තර ව අපට හමුවන්නේ සච්චවිභංග සූත්‍රයෙනි. සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට වදාරණ ලද එම දෙසුම අප විසින් ඊළඟ සූත්‍ර දේශනාව ලෙස ඇතුළත් කළෙමු. පිරිතට සවන් දෙන සැදැහැවතුන් හට දම්සක් පැවතුම් සූත්‍රය විස්තර වශයෙන් සිංහලෙන් ශ්‍රවණය කිරීමේ දුර්ලභ අවස්ථාව ඒ තුළින් ලැබේ.
ඊළඟට තිබෙන්නේ අතිරේක සූත්‍ර දේශනාවන් ය. එහිදී අප විසින් පළමුව කසීභාරද්වාජ සූත්‍රයත් අනතුරුව ආළවක සූත්‍රයත් යළි වසල සූත්‍රයත් සිංහලෙන් දක්වා තිබේ. ඊළඟට හමුවන්නේ හමාර දෙසුම යි. එහි මෙතෙක් පිරිත් දේශනාවල කියැවෙන ආටානාටිය සූත්‍රය වෙනුවට ඉසිගිලි සූත්‍රයත් තුනුරුවන්ගේ ගුණ කියැවෙන ධම්මචේතිය සූත්‍රයත් ඉදිරිපත් කළෙමු. ඉසිගිලි සූත්‍රයෙහි ඇතුළත් වන්නේ පසේබුදුරජාණන් වහන්සේලාගේ නම්ගොත් ය. එනිසා එය ඇතුළත් කළෙමු. ධම්මචේතිය සූත්‍රයේ ඇතුළත් වන්නේ කොසොල් මහරජතුමා විසින් මේදතළුම්ප නම් වූ ශාක්‍ය නියම්ගමෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ දුටු කල්හි ඔහු තුළ ඇති වූ ප්‍රසාද සංවේගය ප්‍රකාශ හයකින් ප්රශංසනාත්මකව පැවසූ ආකාරය යි. එමෙන් ම එය ධම්මචේතිය නමින් හඳුන්වා මතකයෙහි රඳවා ගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කොට වදාළ දෙසුමකි. ආටානාටිය සූත්‍ර දේශනාව අප විසින් උපග්රන්ථයට ඇතුළත් කරන ලද්දේ එම දෙසුම පිළිබඳව ඇති ගෞරවය නිසා ම ය. සතර වරම් දෙව්මහ රජදරුවන් විසින් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන් හට අමනුෂ්‍යයන්ගෙන් ඇති වන්නා වූ උපද්‍රවයන් සමනය කොට ආරක්ෂාව ලබා දීම පිණිස බුදුරජුන් ඉදිරියෙහි පවසන ලද ආටානාටිය දෙසුම බුදුරජාණන් වහන්සේ ද අනුමත කොට වදාළ සේක. වර්තමානයේ බොහෝ පිරිත් දෙසුම්වලදී ජනතාවගේ අවධානය යොමු කරවා ගැනීම පිණිස ඉතා ඝෝෂාකාරී ලෙස අර්ථ ශූන්‍ය පිළිවෙළකින් මහප්රාණාක්ෂර උච්චාරණය කරමින් එක ම ඝෝෂාවක් කරගෙන තිබෙන අයුරු අප කොතෙකුත් අසා තිබේ. ඒ වෙනුවට සැදැහැවත් ජනතාවට ඉතා අරුත්බර දෙසුමක් ශ්‍රවණය කිරීමේ භාග්‍යය ධම්මචේතිය සූත්‍ර දේශනාවෙන් ලැබේ. පිරිත් දෙසුම අවසන් වන්නේ අටවිසි පිරිතෙනි.
ඉහත ආකාරයට පෙළගස්වා ඇති සූත්‍ර දේශනාවන්ගෙන් ප්‍රතිමණ්ඩිත වූ මහමෙව්නාවේ පිරුවානා පොත් වහන්සේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවලදී හෝ තම තමන් විසින් කියාගන්නා වූ පිරිත් දේශනාවලදී භාවිතා කොට මෙලොව ජීවිතයට යහපතත් රැකවරණයත් සැනැසීමත් උදා කරගත හැකි බව අපි ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතු ව පවසා සිටිමු.
මෙම උදාර කටයුත්ත පිණිස මා හට ඉත සිතින් අනුග්‍රහ කරන මහමෙව්නාවේ වැඩ වසන පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, දරුවන්ටත් සියලු කායික මානසික සැප සැළසේවා! එමෙන් ම මෙම පිරුවානා පොත් වහන්සේ මුද්‍රණද්වාරයෙන් ඔබ සුරතට පත්කරන සියලු පින්වතුන්ටත් කායික මානසික සැප සැළසේවා! හැම දෙනාට ම මේ ගෞතම බුදු සසුනේ දී ම සීල සමාධි ප්‍රඥා දියුණු කරගැනීමෙන් අමා මහ නිවන් සුව අවබෝධ කරගැනීමේ වාසනාව උදාවේවා යි ඉතා කරුණාවෙන් යුතුව ආශිංසනය කරමි.
තෙරුවන් සරණයි !
මෙයට
ගෞතම බුදුසසුන තුළ
මෙත් සිතින්,
කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.
ශ්‍රී බුද්ධ වර්ෂ 2548 ක් වූ බිනර මස 20 වන දී ය.
(2004.09.20)
Add comment