විධුර ජාතකය ඉතා අද්භූත කතාවකි. හැම අතින් ම විස්මය දනවයි. ඇතැම්විට ගත ලොමුඩැහැ ගන්වයි. අතිශයින් රසවත් කතාවකි. මෙහි අන්තර්ගත චරිතයන් ලෝක තුනකට අයත් ය. මිනිස් ලොව, යක්ෂ ලොව හා නාග ලොවට අයත් චරිතයන් මෙහි දැක්ක හැකිය.
ඒ සියලු ලෝකයන්ට පොදු ලෙස දක්නට ඇති ප්‍රධාන දෙය නම් ඔවුන් ප්‍රඥා සම්පන්න නොවීම යි. එනිසා ම ඉතා යහපත් ගුණ ඇති, උදාර පුද්ගලයන්ට පවා නිකරුණේ දුක් කරදර රාශියකට බඳුන් වෙන්ට සිදුවේ.
මෙහි කැපී පෙනෙන ප්‍රධාන චරිතය නම්, සිතාගත නොහැකි තරම් අසාමාන්‍ය පාරමී පුණ්‍ය බලයෙන් යුතු විධුර පණ්ඩිතයන් ය. ඔහුගේ ශූර්ය වීර්ය වික්‍රමය අතිශය අද්භූත ය. ස්ථානෝචිත ප්‍රඥාවත් එසේ ම ය. ප්‍රශ්න විසඳන අයුරුත් පුදුම සහගත ය. අප මහබෝධිසත්වයන්ගේ ගුණවන්ත ජීවිතය මෙහි හැම සිදුවීමක් පාසා ම කැපී පෙනේ. විධුර පණ්ඩිතයන්ගේ චරිතයෙන් ගත හැකි ආදර්ශ බොහෝ ය.
එසේ ම පෙර අතීතයේ තිබුණේ මෙකල මෙන් පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් නොව රාජාණ්ඩු ක්‍රමය යි. ඒ රාජාණ්ඩු ක්‍රමය තුළ රජුගේ සේවකයා කවර ගුණාංගයන්ගෙන් යුතු විය යුතු ද යන්න පිළිබඳව බෝධිසත්වයන් විසින් කරනු ලබන උපදේශාත්මක විග්‍රහය මෙකලට පවා අතිශය උපකාර වනු ඇත. මක් නිසා ද යත්, මෙකල එවැනි ගුණවත් මනුෂ්‍ය ප්‍රජාවක් ගැන සිතාගත නොහැකි නිසා ය.
සක්විති රජවරුන්ට පමණක් හිමිවන චක්‍රවර්ති මාණික්‍ය රත්නය ගැන ධර්මයෙහි සඳහන් වන නමුත් එහි ඇත්තේ කුමන ස්වභාවයක් දැයි දැනගත හැක්කේ මේ ජාතකයෙනි. අහස, පොළොව, ජලය මෙන්ම සදෙව්ලොව පුරාත් ආනුභාව පැතිරවිය හැකි සක්විති මිණිරුවන ගැන ඉතා අසිරිමත් තොරතුරු මෙහි සඳහන් ය.
විධුර පණ්ඩිතයන් හට මුහුණ දෙන්ට සිදුවන සියලු ආපදාවන්හිදී ම ඔහු තුළ පවත්නා අතිශය සත්‍යවාදී බවත් කෝප රහිත මෙත් සිතත් මේ ජාතක කතාව පුරා මැනවින් දිස්වේ. අන් සියලු දෙනා තම තමන්ගේ මෝඩකම් හේතුවෙන් මුහුණ දෙන කරදරත් ඒ සියල්ල මැඩ, බෝධිසත්වයෝ කිසිවෙකු හා නොගැටී, මෙත් සිතින් විසීමත් පුදුම සහගත දෙයකි. එය මහබෝසත්වරුන්ට ම අයත් අනන්‍යතාවක් බව හොඳින් පෙනේ.
මේ ජාතක කතාවෙන් නුවණැතියෙකුට උගත හැකි බොහෝ කරුණු තිබේ.
හැම දෙනාටම තෙරුවන් සරණයි!
මෙයට,
ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
(උපුටා ගැනීම – නුවණ වැඩෙන බෝසත් කථා 53 ග්රන්ථයෙනි)
Leave a reply