මිළිඳු රාජ ප්‍රශ්ණය
මිළිඳු රජතුමා විසින් නාගසේන මහරහතන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්න
මිලින්ද ප්රශ්නය වනාහී ඉතා පැරණි වූත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක් වූත් ග්රන්ථ රත්නයකි. මිළිඳු මහරජුගේ ත්, නාගසේන මහරහතන් වහන්සේගේ ත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදුවී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරක් ගත වූ කල්හි ය.
බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට අනුව නාගසේන මහරහතන් වහන්සේ වයඹදිග ඈත ඉන්දියාවේ පංජාබයට ආසන්න ප්‍රදේශයක වැඩසිටි බව පෙනේ. මිළිඳු රජුන් හඳුනාගෙන ඇත්තේ බැක්ටි්රයන් රජෙකු වන මිනැන්ඩර් නම් රජු ලෙස ය. එම ප්‍රදේශය තුළ ත්, ඈත බටහිර ඉන්දියාවේ ත්, කාබුල් ප්‍රදේශයේ ත්, නැගෙනහිර මථුරාවේ ත්, උතුරු කාශ්මීරයේ ත් මේ රජුගේ කාසි බහුල වශයෙන් හමු වී තිබේ. මිළිඳු රජතුමාගේ බෞද්ධාගමනයෙන් පසු ඔහු කොතරම් ජනප්‍රිය වූයේ ද යත්, ඔහුගේ අභාවයෙන් පසු ශාරීරික භෂ්මාවශේෂ තැන්පත් කරමින් තැන තැන ස්මාරක ද තනවා තිබේ. විශේෂයෙන් වර්තමාන ඇෆ්ගනිස්ථානය මිළිඳු රජුගේ විජිතය බව බොහෝ විද්වතුන්ගේ මතය යි.
මෙම මිළිඳු රජු ග්‍රීක ජාතිකයෙකු වන අතර මොහුගේ ඇති වීමංසනශීලී කුසලතාව ඉතා අගනේ ය. කරුණු ඉස්මතු කිරීමෙහිලා, ප්‍රශ්න කිරීමෙහිලා, වාද නැංවීමෙහිලා මෙම රජු තුළ ඇති දක්ෂතාවය සිතාගත නොහැකි තරම් ය. එකල වැඩ සිටි රහතන් වහන්සේලා පවා මොහුගේ වාදප්රතිවාදයන්ට මුහුණ දිය නොහැකි ව එම ප්‍රදේශ හැර ගිය බව සඳහන් ය. මෙම රජුට මෙතරම් තීක්ෂණ වීමංසනයක් පිහිටා තිබෙන්නේ පෙර භවයක සාමණේර නමක් වශයෙන් සිට කරන ලද ප්‍රාර්ථනාවක් අනුව බව නිදාන කථාවෙහි විස්තර වේ. නාගසේන මහරහතන් වහන්සේගේ පහළ වීම සිදු වන්නේ ද එකී ප්‍රාර්ථනාවට අනුකූල ව ඇතිකරගත් පැතුමක් අනුව ය.
නාගසේන මහරහතන්වහන්සේ ගේ ජීවිත කතාව බොහෝ දුරට සමාන වන්නේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන්වහන්සේ ගේ මුල්කාලීන ජීවිතයට යි. සද්ධර්මරත්නාවලියේ නාගසේන මහරහතන් වහන්සේ ගේ ජීවිත කථාව ඉතා රමධෑය ලෙස දක්වා ඇත. සැබැවින්ම රහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරය කළ අයුරු අතිශයින් ම විස්මයජනක ය. නාගසේන මහරහතන් වහන්සේගේ ප්‍රඥා පාටවය ත්, ඉවසීම ත්, අවබෝධය ත්, ශාස්තෘ ගෞරවය ත් අදහාගත නොහැකි තරම් විස්මිත ය. සැබැවින් ම නාගසේන මහරහතන් වහන්සේ විනා වෙන කවරෙකුටවත් මෙම මිළිඳු රජුගේ ප්‍රශ්නයන්ට සෑහෙන පිළිතුරු දෙන්නට බැරි බව පෙනේ.
නාගසේන මහරහතන් වහන්සේ ඉතා පහසුවෙන් සුව සේ පිළිතුරු සපයන සේක. එමෙන් ම ඒවා අංග සම්පූර්ණ පිළිතුරු ය. අනේක උපමා මඟින් දහම් ගැටළු විසඳාලන අයුරු ඉතා මනහර ය. දැවැන්ත හස්තිරාජයෙක් පොකුණකට බැස සියුම් නෙළුම් දඬු සිඳ දමන්නා සේ මිළිඳු රජුගේ සියළු ප්‍රශ්න වලට පිළිතුරු සපයන සේක. සැබැවින් ම මිළිඳු රජු සතුටු වන්නේ අප නාගසේන මහරහතන් වහන්සේගේ ඒ ප්‍රඥා සම්පන්න පිළිතුරු නිසා ම ය. මෙම මිළිඳු රාජ ප්රශ්නය තුළින් අපට රහතන් වහන්සේ නමකගේ මානසික ස්වභාවය තේරුම් ගැනීමට මහත් පිටුවහලක් ලැබේ. ඔබ ඉතා විවේකී මනසින් යුතු සංසුන් ව මෙම කදිම දහම් සංවාදය කියවාගෙන යද්දී එක දෙයක් පැහැදිලි වනු ඇත. එනම් නාගසේන මහරහතන් වහන්සේගේ ඇති අසාමාන්‍ය ඉවසීම යි. මිළිඳු රජතුමා ප්‍රශ්න අසා පිළිතුරු ලද විට උපමාවකින් පහදා දෙන්න කියා ඉල්ලා සිටියි. එවිට අප රහතන් වහන්සේ ඉතා සොඳුරු උපමාවක් දක්වන සේක. එයින් සෑහීමකට පත් නොවන රජ තෙමේ තවත් උපමාවක් ඉල්ලා සිටියි. එවිට උන්වහන්සේ තවත් උපමාවක් දක්වන සේක. එයින් ද සෑහීමකට පත් නොවන රජතුමා තවත් උපමාවක් ඉල්ලා සිටියි. එවිට අප රහතන් වහන්සේ තවත් උපමාවක් දක්වන සේක. රජතුමා ඇතැම් විට යළි යළිත් උපමා ඉල්ලයි. රහතන් වහන්සේ කිසිදු පැකිලීමකින් හෝ අපහසුතාවයකින් හෝ ගැටීමකින් හෝ තොර ව උපමා පවසති. සාමාන්‍යයෙන් පොදු ජනයාගෙන් එක ම කරුණක් සඳහා නැවත නැවත ත් උපමා ඉල්ලා සිටියහොත් ඔහු කිපෙනු නිසැක ය. ඔහුට දහම් සංවාදය තිත්ත වනු ඇත. ඔහු පලා යනු ඇත. නැතහොත් ප්‍රශ්න විමසන්නා ව පළවා හරිනු ඇත. ඔහුට මහා වදයක් වනු ඇත. අහෝ! අසිරිමත් යැ. අප නාගසේන මහරහතන් වහන්සේ හට එබඳු කිසිදු මානසික පීඩාවක් හෝ අපහසුතාවයක් නැත. මිළිඳු මහරජුගේ අතිබලසම්පන්න වූ රාජඉර්ධිය නාගසේනයන් වහන්සේගේ අර්හත් ඉර්ධිය ඉදිරියේ වශීකෘත භාවයට පත්විය. භාග්‍යවතුන් වහන්සේගේ ළය මඬලෙහි උපන් ඖරස පුත්‍ර වූ ශ්‍රාවක සඟරුවනේ ආධ්‍යාත්මය නිර්මිත ව තිබෙන්නේ ධර්මයෙන් නිසා ය.
සැබැවින් ම මිළිඳු මහරජු ද අද්විතීය වූ අපූර්ව වූ පුරුෂයෙකි. කොතරම් රාජඉර්ධියෙන් යුතු වුවද ඔහු නාගසේන මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න විමසන ලද්දේ රාජඉර්ධියෙන් බලපෑම් කරමින් නොවෙයි. අවංකවම තමන්ගේ ගැටළුව විසඳා ගැනීමේ අපේක්ෂාවෙනි. මිළිඳු රජුන් අසන ඇතැම් ප්‍රශ්නයන්ට රහතන් වහන්සේ ගෙන් ලැබෙන්නේ ඉතා කෙටි පිළිතුරු ය. නැතහොත් ඉතා කෙටි උපමාවකි. බැලූ බැල්මට එය බලවත් තර්කයක් ලෙස පෙනෙන අවස්ථා තිබේ. එහෙත් සැණෙකින් එය වටහා ගන්නට මිළිඳු රජු සමත් වෙයි. මෙය සැබෑ ම සපන්කමෙකි.
මේවා අපට ද අතිශයින් ම ප්‍රයෝජනවත් ය. කොතරම් දහම් දැනුම තිබුණ ත් ඇතැම් දහම් ගැටළු විසඳා ගැනීමෙහිලා මිළිඳු රාජ ප්‍රශ්නයෙන් අපට ලැබෙන ආලෝකය ඉමහත් ය.
මින් පෙර මිලින්ද ප්රශ්නය නමින් සිංහලෙන් පොත් පළවී ඇත ත් මෙය ඉතා සරල භාෂාවෙන් අනුවාදිත හෙයින් පහසුවෙන් තේරුම් ගත හැකි වනු ඇත. ඥානපිපාසිතයින් හට
මෙය මහත් අස්වැසිල්ලක් වනු ඇත. මෙහි ඉතා කදිම උපමා රූපකයන් වරින් වර අපට හමුවෙයි. නාගසේන මහරහතන් වහන්සේ උපමා ඇසුරු කරමින් ඉතා සූක්ෂම ධර්මයන් විස්තර කොට වදාරණ විට අප කළ යුත්තේ ද ඒ උපමාවන්ට සතුටු වීම නොව එහි අර්ථ වටහාගෙන තේරුම් ගැනීමට උත්සාහ කිරීම යි. අපට ප්‍රයෝජනවත් වන්නේ එය යි.
මෙම ධර්ම ග්‍රන්ථය ශ්‍රද්ධාවෙන් ප්රකාශනයට පත් කරන දයාවංශ ජයකොඩි මහතාට ත්, එම මැතිණියට ත්, මෙම පොත නිර්මාණය කිරීමට දායක වූ සැමටත් මෙයින් රැස් වූ සියළු පින් උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වීම පිණිස හේතු වේවා!
මේ පොත කියවන ඔබ සැමටත් උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා!
හැම දෙනාට ම තෙරුවන් සරණයි!
මෙයට,
ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
Add comment