ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව
මහාවංශය
ප්රස්ථාවනාව
මහාවංශය වනාහී සිංහල ජාතියේත්, සිංහල රාජවංශයේත්, ලංකාවෙහි ස්ථාපිත බුද්ධ ශාසනයේත් ආරම්භය පිළිබඳව අතිශය සත්‍ය වූ වාර්තා පදනම් කොට ලියැවුණු සිංහලයන්ගේ අභිමානවත් ඓතිහාසික ග්‍රන්ථය යි. ලෝකයෙහි යම් කිසි ජාතියක් සතුව මෙවන් ඓතිහාසික ලිඛිත ග්රන්ථයක් ඇත්නම් ඒ සිංහල ජාතියට ය. එහෙයින් සෑම සිංහලයෙකු විසින් ම අනිවාර්යයෙන් කියවිය යුතු ග්රන්ථයන් අතර මහාවංශය ඇතුලත් විය යුත්තේ ම ය.
අප බුදුරජාණන් වහන්සේ පහළ වී වදාළේ ඉන්දියාවෙහි ය. එනමුදු බුදු සසුන පවතින්නේ ඉන්දියාවෙහි නොව ලක්දිව බව අප බුදුරජහු බුදු ඇසින් මනාව දුටු සේක. එහෙයින් බුද්ධත්වය ලබා නව මාසයක් ගත වූ තැන අප භාග්‍යවතුන් වහන්සේ පළමුව මෙලක්දිව මහියංගණයට වැඩමකොට, අනාගතයෙහි මිනිසුන්ට හා බුදුසසුනට එරෙහි වන බිහිසුණු යකුන් දමනය කළ සේක. දෙවනුව වැඩියෝ මෙලක්දිව නාගදීපයට ය. ඒ බුද්ධත්වයෙන් පස් වසක් ගත වූ තැන ලක්දිව දිය ගොඩ වැසි නාගයින්ගේ කලහයක් සංසිඳුවීම පිණිස ය. තුන්වෙනුව අප භාග්‍යවතුන් වහන්සේ ලක්දිව වැඩි සේක් මණිඅක්ඛික නාරජහුගේ ඇරයුමෙන් කැළණියට ය. ඒ බුද්ධත්වයෙන් අට වසක් ගෙවුණු තැන ය. මෙසේ මෙලක්දිවට අප බුදුරජුන් තුන් වරක් වැඩි නමුත් බුදු සසුන නොපිහිටියේ එකල මෙහි මිනිස් වාසයක් නොතිබූ නිසාවෙනි. මේ පිළිබඳව වත්මන් ඊනියා උගත්තු කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් නැවත නැවතත් ගරහන්නේ තමන්ගේ ම සැබෑ ඉතිහාසයට බව ඔවුහු නොදනිති.
මේ ලක්දිව මිනිස් වාසය සිදුවූයේ එදා ඉන්දියාවෙහි සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූ එකම වෙසක් පුන් පොහෝ දා ය. ඒ මින් වසර දෙදහස් පන්සිය හැට තුනකට පෙර ය. එදින විජය රාජකුමාරයා සත්සියයක් පිරිවර සමග මේ ලක්දිවට ගොඩබැස ජනාවාස ඉදිකොට රාජාණ්ඩු ක්‍රමය පිහිටවූ අයුරු මහාවංශයෙහි මැනවින් විස්තර කරයි.
එසේම අප භාග්‍යවතුන් වහන්සේ එදා පිරිනිවන් යහනෙහි සැතපී සිටියදී ලක්දිව බුදුසසුන පිළිබඳව පංච මහා අධිෂ්ඨානයක් කොට වදාළ බව මහාවංශයෙහි මෙසේ පැහැදිලිව සඳහන් වෙයි. එනම්;
“(1). ධර්මාශෝක රජු විසින් ගනු ලබන්නා වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛා තොමෝ ම මහබෝධියෙන් වෙන් වී රන් කටාරමෙහි පිහිටාවා! යනු පළමු අධිෂ්ඨානය ය.
(2). ඒ දක්ෂිණ බෝධි ශාඛාව රන් කටාරමෙහි පිහිටි පසු සොඳුරු වූ ෂඞ්වර්ණ රශ්මි ධාරාවෝ බෝධි පත්‍ර ඵල ආදියෙන් නිකුත්ව සියලු දිශාවන් ප්‍රීතියට පත් කරත්වා! යනු දෙවැන්න ය.
(3). ඒ මනරම් බෝධි ශාඛාව රන් කටාරමත් සමග ම තොමෝ ම අහසට පැන නැගී නොපෙනී ගොස් සත් දිනක් ම හිමවළා ගැබක සිටීවා! යනු තුන්වැන්න ය.
(4). ථූපාරාමයෙහි පිහිටන්නා වූ මාගේ අකු ධාතුව අහසට පැන නැගී යමක මහා ප්රාතිහාර්යය කෙරේවා! යනු සිව්වන අධිෂ්ඨානය ය.
(5). ලංකාද්වීපයට මහත් අලංකාරයක් වූ ස්වර්ණමාලී මහා චෛත්‍යයෙහි ද්‍රෝණයක් පමණ වූ මාගේ නිර්මල ධාතූන් වහන්සේලා පිහිටන කල්හි, බුදුරජාණන් වහන්සේගේ ජීවමාන වේශය ගෙන අහසට පැන නැගී වැඩසිට යමක මහා ප්රාතිහාර්යය දැක්වීමෙන් පසු ඒ ධාතූන් වහන්සේලා පිහිටත්වා! යනු පස්වන අධිෂ්ඨානය ය.
(මහාවංශය ප්‍රථම භාගයේ 17 වෙනි පරිච්ඡේදයේ ගාථා අංක 47-52)
භාග්‍යවතුන් වහන්සේගේ මේ පංච මහා අධිෂ්ඨානයන් ඒ අයුරින් ම සිදුවී ඇති බව මහාවංශය තුළින් මනාව පෙන්වා දෙයි.
එසේම විජය රාජකුමාරයාගේ ලංකාගමනය ද සාමාන්‍ය සිදුවීමක් නොව සුවිශේෂ සිදුවීමකි. අප ජාතියට සිංහල යන නාමය පවා ලැබුණේ විජය රාජකුමාරයාගේ සම්බන්ධය නිසා බව මහාවංශය පැහැදිලිව ම කියයි.
එවකට ලක්දිව සිටියෝ අමනුෂ්‍යයෝ ය. ඔවුන්ගෙන් මනුෂ්‍යයන් හට උපද්‍රව සිදුවිය හැකි බැවින් මිනිස් වාසය සිදුවන මේ අවස්ථාවෙහි විජය රාජකුමරු ඇතුලු පිරිසට රැකවල් සැලසිය යුතු බවට අප භාග්‍යවතුන් වහන්සේ විසින් සක්දෙවිඳුට වදාරන ලද්දේ පිරිනිවන් යහනෙහි සැතපී සිටියදී ම ය. සක්දෙවිඳුට වදාළ එකරුණ මහාවංශයෙහි මෙසේ සඳහන් වෙයි.
“විජයෝ ලාටවිසයා – සීහබාහු නරින්දජෝ
ඒස ලංකං අනුප්පත්තෝ – සත්තභච්ච සතානුගෝපතිට්ඨිස්සති දේවින්ද – ලංකායං මම සාසනං
තස්මා සපරිවාරං තං – රක්ඛ ලංකඤ්ච සාධුකං
සිංහබාහු නරේන්ද්‍රයාගේ පුත්‍ර වූ විජය නම් රාජකුමාර තෙමේ සත්සියයක් පිරිවරින් යුතු වූයේ ලාට රට සිට ලක්දිවට ගොඩබැස්සේය.
දේවේන්ද්‍රයෙනි, මාගේ ශාසනය පිහිටන්නේ ලංකාවෙහි ය. එහෙයින් පිරිවර සහිත වූ විජය රාජකුමාරයාත්, ලංකාද්වීපයත් හොඳින් ආරක්ෂා කරව” යනුවෙනි.
අප භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත් සක්දෙවිඳු තෙමේ ඒ පිරිසට සියලු රැකවල් යෙදවීය. එහෙයින් අමනුෂ්‍ය උපද්‍රවයකට ලක් නොවූ ඔවුහු ලක්දිව මිනිස් වාසය ඇරඹුවෝය. එසේම සුදුසු කාලයෙහිදී අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව වැඩමවීම ද සිදුවූයේය. ඉන් පසු මේ ලක්දිව ගෞතම බුදු සසුනෙහි කේන්ද්‍රස්ථානය බවට පත්වූයේය. සිංහල ජාතිය ද බුදු සසුන සුරකින ජාතිය බවට පත්වූයේය. ලක්දිව බුදුසසුන පිහිටුවීමෙහිලා එදා ඉන්දියාවෙහි සිදුවූ තුන්වන ධර්ම සංගායනාවෙහි නේතෘවරව වැඩසිටි මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේත්, ධර්මාශෝක මහාධිරාජයාගේත් නොමඳ සහය ලක්දිවට ලැබුණේය.
කුඩා දිවයිනක් වූ මේ ලංකාද්වීපයෙහි මෙවර සිදුවූ මනුෂ්‍ය වාසයේ ආරම්භයත්, බුදු සසුනේ ඉතිහාසයත්, සිංහල රාජපරම්පරාවත් පිළිබඳව ඉතාම වැදගත් ඓතිහාසික වාර්තා සහිතව මහාවංශය නමින් ග්රන්ථයක් සම්පාදනය වූ නමුත් සුවිශාල රටක් වන ජම්බුද්වීපය නමැති ඉන්දියාවෙහි එවන් කිසි ඓතිහාසික ග්රන්ථයක් නොමැති වීම පුදුමය දනවයි. බ්‍රාහ්මණ ආධිපත්‍යය යටතේ දිගටම පවතින ඉන්දියාව පිළිබඳ කරුණු විමසා බලනවිට එය තේරුම් ගැනීම එතරම් අපහසු නැත.
ඉන්දියාව මනුෂ්‍ය වාසයක් වූයේ කෙසේ ද, තම රටෙහි රාජතන්ත්‍රය පහළ වූයේ කෙසේ ද, ආධ්‍යාත්මික නායකයින් බිහිවූයේ කෙසේ ද, ඒ සඳහා උපස්ථම්භක වූ රජවරු කවරහු ද යනාදී කිසිවක් බ්‍රාහ්මණයන්ගේ ග්රන්ථ තුළ සඳහන් නොවේ. බ්‍රාහ්මණයෝ වනාහී කිසිසේත් අන්‍ය මතවාද පිළිගැනීමට අකැමැත්තෝ ය. එය සූත්‍ර පිටකයෙහි ද මැනැවින් දක්නට ලැබේ. ඔවුන් සතු මූලික ආගමික ග්රන්ථ වූයේ ඔවුන්ගේ පැරණි මුතුන් මිත්තන් විසින් රචිත තුන් වේදය යි. පසුකාලීනව ඉන්දියාවෙහි බිහිවූ නාලන්දා ආදී සුවිශේෂ විශ්ව විද්‍යාලයන් මගින් පැතිරවූ සංස්කෘත භාෂාව මුල්කොට ගත් මහායාන මත හේතුවෙන් වේදයන්ට තිබූ තැන නැතිව ගියේය. එයට පසුබිම සැකසුනේ මෙසේ ය.
අප භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සිය වසක් ගත වූ තැන දෙවන ධර්ම සංගායනාව සිදුවිය. එම ධර්ම සංගායනාව සිදුකරන ලද්දේ තමන්ට විරුද්ධව යැයි වැරදි ලෙස වටහාගත් සඟපිරිසක් මහාසංඝික නමින් සංඝයාගෙන් වෙන්ව ගියෝය. ඔවුහු නිර්මල බුද්ධ වචනයටත්, විනයටත් විරුද්ධව තමන්ට හිතුමනාපයේ මතවාද ඉදිරිපත් කරමින් මහායාන නමැති මිසදිටුවට අඩිතාලම දැමුවෝය. එහි ප්‍රතිඵලයක් ලෙස තුන්වන ධර්ම සංගායනාව වන විට ඉන්දීය භික්ෂු සංඝයා අටළොස් නිකායකට බෙදී ගොස් තිබුණි. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මැදිහත් වීමෙන් ද ධර්මාශෝක මහාධිරාජයාගේ සහයෝගයෙන් ද තුන්වෙනි ධර්ම සංගායනාව සිදුවිය. උතුම් ධර්ම විනය ඒ අයුරින්ම රැකගත් එකී සංගායනාවෙන් පසු රටරටවලට රහතන් වහන්සේලා පිටත් කරවනු ලැබූහ. ඒ ධර්මදූත මෙහෙවරෙහිදී ලක්දිවට වැඩමකොට වදාළෝ අප මිහිඳු මහරහතන් වහන්සේ ය. ඒ හේතුවෙන් ලක්දිව බුදුසසුන පිරිසිදුව රැකුණේය.
කාලයාගේ ඇවෑමෙන් ඉන්දියාවෙහි බලවත් වූ මහායානිකයෝ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්ර ආදී භූත විද්‍යාවෙන් කෙළ පැමිණ තමන්ගේ ධර්ම ප්රචාරක මාධ්‍ය බවට පත්කර ගත්තෝ සංස්කෘත භාෂාව ය. ඔවුහු හුදෙක් වාද විවාද පිණිස ම ධර්මය හදාළෝය. සර්පයෙකුගේ වලිගයෙන් අල්ලාගත් තැනැත්තා මරණයට පත්වන්නේ තමා වැරදි තැනින් අල්ලාගත් සර්පයා දෂ්ඨ කිරීමෙනි. එසෙයින් ම වාද විවාද පිණිස ධර්මය හදාරන තැනැත්තා තමා ධර්මය අල්ලාගත් ක්රමයේ වරදින් ම විනාශයට පත්වන බවට අප භාග්‍යවතුන් වහන්සේ විසින් අලගද්දූපම සූත්‍රයෙහිදී වදාරන ලද්දේය.
ඒ අනුව මහායානිකයන් විසින් ද පළමුව සිය වාද විවාදයන්ගෙන් ථේරවාදී සංඝයා ඉන්දියාවෙහි අතුරුදහන් කරන ලද්දේය. අනතුරුව ඔවුහු වාදයට එළඹියෝ බ්‍රාහ්මණයන්ගේ වේදයෙහි සඳහන් ආත්මවාදී චින්තනය සමග ය. දිගින් දිගට ම බ්‍රාහ්මණයෝ වාදයන්ගෙන් පැරදී ගියාහුය. ඉක්බිති බුදුරජුන් කෙරෙහි ද බුදුදහම කෙරෙහි ද භික්ෂු සංඝයා කෙරෙහි ද වෛර බැඳගත් බ්‍රාහ්මණයෝ සිය භූත විද්‍යා බලය ද දියුණු කොට රජවරු ද සියතට ගෙන ඉන්දියාවෙන් බුදු දහම අතුගා දැමූහ. ඒ වාද විවාදයන්හිදී වේද මතයන්ට පහර වැදුනු හෙයින් ඔවුහු භගවත් ගීතාව නමින් ග්රන්ථයක් රචනා කළෝය. එහි ඇත්තේ දස මහ අවතාර වාදය යි. එමෙන්ම එහි බොහෝ කරුණු උපුටාගෙන ඇත්තේ ධම්මපදයෙන් හා සූත්‍ර ධර්මයන්ගෙනි.
අනතුරුව ඔවුන් විසින් රාමායනය රචනා කරන ලදී. එයට පාදක කොටගෙන ඇත්තේ දසරථ ජාතකයෙහි සඳහන් රාම බෝසත් චරිතය යි. ඔවුන්ගේ අවතාර වාදයන්ට අනුව එය මිත්‍යා කථාවලින් පුරවා රචනා කරන ලදී. එසේම පෙර තිබූ ඉතිහාසය වෙනුවට ඔවුහු බුදුරජුන්ට නිගරු කොට, සක්දෙවිඳුට ද නිගරු කොට, ද්වේෂ සහගත කතා රචනා කරමින් දහඅට පුරාණය නමින් කෘතිම ඉතිහාසයක් රචනා කළෝය. ලක්ෂණ ශාස්ත්‍රය ද අත්හැර දමන ලදී. අද පවා බොහෝ ඉන්දියානුවෝ බුදුරජුන්ට මෙන්ම බුදු දහමට ද විරුද්ධයහ. බෞද්ධ රජවරුන්ගේ නමක්වත් සඳහන් කිරීමට ඔවුහු අකැමතියහ. අප රටෙහි පවා උතුරේ සිටින දෙමළ හින්දු ජනයා බුදුදහමට කෙතරම් විරුද්ධ දැයි සියල්ලෝ දනිති.
ඉංග්‍රීසි පාලනය සමයෙහි ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් අශෝක සෙල්ලිපි, ටැම්ලිපි ආදිය හමුවිය. මේවා කියවූ ඉංග්‍රීසීහු ‘දේවානම්පිය’ නමින් රජෙකු එහි සඳහන් වන හෙයින් ඉන්දියානු බ්‍රාහ්මණ ග්රන්ථයන් පීරමින් ඒ රජු කවුදැයි සෙවූ නමුත් සොයාගත නොහැකි වූහ. අවසානයෙහි ඔවුහු ලක්දිව වංශ කථාවන්හි පිහිට පැතූහ. එහිදී දේවානම්පිය යනුවෙන් සඳහන් වන්නේ වෙන කිසිවෙකුට හෝ නොව අශෝක අධිරාජයාට බව දැනගත්හ.
නිදහස් ඉන්දියාවේ ව්‍යවස්ථා සම්පාදක අමාත්‍යව සිටි භීමරාව අම්බේඞ්කාර්තුමා ලක්ෂ සංඛ්‍යාත කුලහීන ජනයා සමග බුදුදහම වැළඳගත්තේය. එහෙත් තවම බෞද්ධයන් යනු වෙනම ජනකොට්ඨාශයක් වශයෙන් ඉන්දියානුවෝ නොසලකති. එමෙන්ම බුදුදහම ඔවුන් අතර පැතිරෙනවාට දැඩි ලෙස විරුද්ධ වෙති. හින්දු ආගමේ ම කොටසක් හැටියට සලකා ඉන්දියානු බ්‍රාහ්මණයෝ බෞද්ධයන් හට නොයෙකුත් කෙණෙහිලිකම් කරති. එය මා අත්දැකීමෙන් ම දන්නා දෙයකි.
ඉංග්‍රීසි පාලනය යුගයේ පිහිටවූ ඉන්දියානු පුරාවිද්‍යා අධිකාරිය විසින් එරට සුවිසල් ලෙස විහිදී තිබෙන නටබුන් ගවේෂණය පටන් ගන්නා ලදී. එහිදී ඔවුන් හට විශේෂයෙන් උපකාර වූයේ අපගේ මහාවංශයත්, හියුං සියැං ආදීන්ගේ පැරණි දේශාටන වාර්තාවනුත් ය. මේ අනුව බලන කල ඉන්දියාවෙහි බලෙන් වළලා දැමූ ඉතිහාසය නැවත පාදා ගැනීමට මුල් වූයේ ද මහාවංශය බව අප කෘතවේදීව සිහිකළ යුතුය.
සිංහලයා කවදා හෝ නැගී සිටින්නේ මහාවංශය නමැති සිය වංශ කථාවෙහි ආනුභාවයෙන් බව ඉංග්‍රීසීහු මැනවින් දැන සිටියෝය. එහෙයින් ඔවුහු මහාවංශය පිළිබඳව සිංහලයා තුළ ඇති අතිමහත් ගෞරවය කෙලෙසා දැමීම පිණිස කළහැකි සෑම දෙයක් ම කළෝය. ඔවුන් විසින් අපට දායාද කළ වහල් චින්තනයෙන් යුතු අධ්‍යාපන රටාවෙහි උගන්වන්නේ ඉතිහාසය ගෞරවයෙන් පිළිගැනීමට නොව හෙළා දැකීමට ය. ඒ සඳහා වත්මනයෙහි ද ඊනියා උගත් යැයි සම්මත බොහෝ දෙනෙක් සුද්දන්ගේ ක්‍රියාව ම ඊටත් වඩා ළාමක ලෙස කරමින් සිටිති.
මේ වන විට සාමාන්‍ය සිංහල ජනයා පමණක් නොව ලාංකීය භික්ෂූන් වහන්සේලා ද ඉතිහාසය නොදනිති. එනිසා ම සිංහල ඉතිහාසයටත් බුද්ධ ශාසන ඉතිහාසයටත් ඉඳුරා ම විරුද්ධ වූ අතිශය විකෘති මතවාදයන් කිසිදු ලැජ්ජාවකින් තොරව කරපින්නා ගනිති. මේ අවාසනාවන්ත උවදුරින් සිංහල සමාජය බේරාගත හැකි එකම ක්‍රමය නම් මහාවංශය කියවන්ට සැලැස්වීම යි. මේ සඳහා බොහෝ උගතුන් නොයෙක් වර ප්‍රශංසනීය ලෙස වෑයම් කොට ඇති නමුත් තවමත් මහාවංශය සමාජගත කිරීමට අප සමත් වී නැත.
මවිසින් මෙම මහාවංශ සරල අනුවාදය කරන ලද්දේ සාමාන්‍ය සිංහල ජනයාට මහාවංශය කියවා සිය සිංහල ජාතියත්, බුදුසසුනත්, සිංහල රාජවංශයත්, ලාංකීය භික්ෂූන් වහන්සේගේ කාර්යභාරයත් ගැන නිවැරදි අවබෝධයක් ලබාදෙනු පිණිස ය.
මෙම සරල සිංහල අනුවාදය උදෙසා සහය කරගත්තේ අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමියන් වහන්සේ සහ බටුවන්තුඩාවේ පඬිතුමා විසින් සකස් කරන ලද මහාවංශයත්, අතිපූජ්‍ය අකුරටියේ අමරවංශ නාහිමියන් සහ හේමචන්ද්‍ර දිසානායක පඬිතුමන් විසින් අනුවාදිත වංසත්ථප්පකාසිනියත් ය. එමෙන් ම මහාවංශයේ සරල අනුවාදයන් රාශියක් තිබෙන බව අපට දකින්ට ලැබිණි. මහාවංශය නමැති ශ්‍රේෂ්ඨ ඉතිහාස කථාව සිංහල ජනතාවට කියවන්නට සැලැස්වීම උදෙසා ඒ ඒ පඬිවරුන් ගත් වෑයම සදා ප්‍රශංසනීය ය.
මෙහිදී විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කටයුතු දෙදෙනෙකු ඇත්තේය. මා හට මහාවංශයේ අවසාන පරිච්ඡේද හතළිහේ පාළි ගාථා කොටස සොයාගන්ට නොහැකිව සිටියදී එය සොයාදුන්නේ අපගේ හිතමිත්‍ර පින්වත් ගයාන් චානුක විදානපතිරණ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමා ය. එමෙන්ම බොරැල්ලේ ත්‍රිපිටක සදහම් පොත්මැදුරෙහි පින්වත් එරික් ප්‍රනාන්දු මහතා ද අපට බොහෝ සෙයින් උපකාරී වූයේය. ඒ පින්වතුන් දෙදෙනාට ද මේ පින අයිති වේවා!
මෙම මහාවංශය කියවීමේදි ඇතැම්විට ශ්‍රද්ධාවෙන් අපගේ සිත පිනායයි. සිත පහන් වෙයි. එමෙන් ම ඇතැම් රජවරුන් විසින් කරන ලද නොයෙකුත් ක්‍රියාවන් ද ඇතැම්විට සිදුවන ලද කුමන්ත්රණයන් ද විශේෂයෙන් සිංහල ජාතියටත් රාජ්‍ය තන්ත්රයටත් සිදුවන විනාශයන් කියවනවිට කෙලෙස්වල ඇති භයානක ස්වභාවයත් සංසාරයෙහි ඇති නීච ස්වභාවයත් ධර්මයෙන් තොර වූ අසත්පුරුෂ ඇසුරේ භයානකකමත් නිතැතින් ම වැටහෙයි. එවිට අප තුළ ධර්ම සංවේගයක් හටගනී. මහාවංශ ප්‍රථම භාගයෙහි කර්තෘවර මහානාම මාහිමියන් වහන්සේ අපට යෝජනා කරන පරිදි ඒ ඒ තැන් වලදී ප්‍රසාදයත් සංවේගයත් ඇති කරගත මැනව.
මහානාම මාහිමියන් වහන්සේ විසින් අපගේ ඉතිහාසය පිළිබඳ අනර්ඝ අප්‍රකට තොරතුරු ඉතාම අපක්ෂපාතීව ගාථා බන්ධනයන් මගින් සකසා මහාවංශය ලිවීමෙන් අපගේ ජාතියට කරන ලද අනුග්‍රහය වචනයෙන් වර්ණනා කොට අවසන් නොකළ හැකි දෙයකි.
මෙය බොහෝ දෙනෙකුට සුවසේ කියවා සිංහලයාගේ ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගත හැකිය. දැනට නා නා මාධ්‍යයන් තුළින් ද අපගේ ඉතිහාසය පිළිබඳව පතුරුවා හරිනු ලබන විකෘතියට පත් දුර්මත දුරුවී ගොස් බොහෝ දෙනා හට යහපත සැලසේවා!
අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ ලංකාද්වීපයට වැඩි අනුහසින්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනුහසින්, ස්වර්ණමාලී මහාසෑයේ වැඩ සිටින ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලාගේ අනුහසින් සිංහල ජාතියත් බුදු සසුනත් ලංකාද්වීපයෙහි චිරාත් කාලයක් සුරැකේවා!
මෙයට,
ගෞතම බුදු සසුන තුළ
මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ශ්‍රී බු.ව. 2563 වප් මස 25 දින (2019.10.25)
One comment
DasunMj
සෑම සිංහල බෞද්ධයෙකු විසින්ම කියවිය යුතුම, අපගේ ඒ මහා වංශය පිලිබ`ද පරම්පරා කතාව සරල සිංහලයට පරිවර්ථනය වී තිබියදීත් කියවා නැත්තවුන් කවරහුද ?