මහානාරදකස්සප ජාතකයේ බොහෝ වැදගත් කරුණු ඇතුළත් ය. අප භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වදාරන ලද්දේ බරණැස ඉසිපතන මිගදායේ ය. එහි ම වස් කාලය ගතකොට ධර්මදූත චාරිකාවට භික්ෂු සංඝයා ද පිටත් කරවා තමන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩි සේක. එසේ වැඩම කොට වදාළේ උරුවේල කස්සප ප්‍රධාන තුන්බෑ ජටිලයන් හා ඔවුන්ගේ පිරිසත් දමනය කොට ඔවුනට විමුක්ති සුවය සලසා දීම පිණිස ය. එහිදී උරුවේල කස්සපගේ මිසදිටුව බිඳීම පිණිස භාග්‍යවතුන් වහන්සේට බොහෝ ප්රාතිහාර්ය කිරීමට පවා සිදු විය.
මින් පෙර ආත්මයේ ද උරුවේල කස්සප එක්තරා රජෙකු ව ඉපිද සිටියදී දැඩි ව ග්‍රහණය කරගත් මිසදිටුවෙන් යුතුව බිහිසුණු ගමනක් යමින් සිටියේය. එකල අප මහාබෝධිසත්වයෝ බඹලොව නාරද මහාබ්‍රහ්ම නමින් උපත ලබා සිටියදී, ඔහුට වන විපත දැක, ඔහු මිසදිටුවෙන් ගලවා යහපත් මාර්ගයේ සමාදන් කරවූ කථාව ය මෙහි ඇත්තේ.
එසේ ම අපගේ අනඳ මහතෙරුන් වහන්සේ පෙර අත්බවෙක පුරුෂයෙකු ව ඉපිද සිටියදී පාපමිත්රයෙකු ඇසුරු කිරීම හේතුවෙන් නොමග ගියේය. අනුන්ගේ ස්ත්‍රීන් කාමයට පොළඹවාගෙන බොහෝ අනාචාරයේ හැසිරී, එහි විපාක වශයෙන් නිරයේත්, තිරිසන් අපායේත් කටුක දුක් වින්ද අයුරු ද මෙහි සඳහන් වේ. සසරේ කළ පින් හේතුවෙන් දෙව්ලොව ගිය ද එහිදී පවා සය වතාවක් ම ස්ත්‍රී ආත්ම ලැබුණේය. සත්වෙනි වතාවේ මනුලොව ස්ත්‍රී ආත්මය ලැබ, ගුණධර්ම හේතුවෙන් ම යළි පුරුෂ භාවයට පත්වූ ආකාරයත් මෙහි සඳහන් ය.
එමෙන්ම නොයෙක් මිසදිටු ගත් අය ඒ හේතුවෙන් සිත කය වචනයෙන් අකුසල් කොට උපදින බිහිසුණු නිරයයන් පිළිබඳව ඉතා වැදගත් තොරතුරු මෙහි සඳහන් ය. මනුලොව සිටියදී බොහෝ පව් කොට නිරයේ උපත ලබා විඳිනා දුක් හොඳින් පෙන්වා දී තිබේ.
දඹදිව පාටලීපුත්ර නුවර ධර්මාශෝක අධිරාජයාගේ මූලිකත්වයෙන්, මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් සිදුකරන ලද තුන්වන ධර්ම සංගායනාවෙන් පසු ධර්මදූත සේවාව පිණිස දඹදිව මහාරාෂ්ට්‍ර ප්‍රදේශයට යවන ලද්දේ මහාධම්මරක්ඛිත මහරහතන් වහන්සේ ය. උන්වහන්සේ එහිදී මහානාරදකස්සප ජාතකය මුල්කොට ධර්ම දේශනා කළ සේක. එය ඇසූ අසූහාරදහසක් ජනයා මගඵල ලැබූහ. එමෙන්ම උන්වහන්සේ සමීපයේ දහතුන් දහසක් පිරිස පැවිදි ව ධර්මයේ හැසිර යහපත සලසා ගත්හ.
හැම දෙනාටම තෙරුවන් සරණයි!
මෙයට,
ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
One comment
Manju
බොහොම ස්තූතියි අපේ හාමුදුරුවනේ